Thursday, December 22, 2011

අපෝ මචං උඹ ඔය කරන වැඩේ මුළු කොල්ලෝ සංහතියටම ලැජ්ජාවක් මචං!


මමත් කොල්ලෙක් මචං.

මම හිතනවා උඹත් කොල්ලෙක් වෙන්න ඇති කියලා මචං.


ඉතිං ඒ හන්දා මට වගේම උඹටත් කවුරු හරි කෙල්ලෙක්ට හිත යන එක සාමාන්‍ය දෙයක් මචං. 

ඒත් මචං ඒ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවානම් මම කරන්නේ මගේ හිත හදාගන්න එක මචං.

ඒත් උඹ? 

මොකක්ද බං උඹ ඔය කරන ජාරා වැඩේ මචං?

උඹ හිතන්නේ උඹ කරන වැඩේ මගේ යාළුවා දන්නේ නෑ කියලද මචං?

මගේ යාළුවා දන්නවා ඌගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ ඌට කෝල් කරන්නේ උඹ කියලා මචං. 

උඹ ඌට පළවෙනිම පාරට කෝල් එක ගත්තු වෙලේ මම හිටියේ මගේ යාළුවත් එක්ක පාර්ටි එකක මචං.

මගේ යාළුවා උඹේ කෝල් එක ගැන සැක හිතුන නිසයි උගේ කෙල්ලට, ඒ කියන්නේ උඹ කැමැත්තෙන් ඉන්න කෙල්ලට උඹේ නම්බර් එක දීලා දන්න එකක්ද කියලා අහලා තියෙන්නේ මචං. 

ඒ වෙලාවේ තමයි මචං ඒ කෙල්ල කියලා තියෙන්නේ ඒ නම්බර් එක, එයාගේ ඔෆිස් එකේ වැඩ කරන, එයාට හැමතිස්සෙම කෝල් කර කර කරදර කරන උඹේ කියලා මචං.

ඔය ගැන මගේ යාළුවාට ඒ කෙල්ල කලිනුත් කියලා තිබ්බලු මචං.

ඔෆිස් එකේදී උඹ එයාගේ ෆෝන් එක උදුරගෙන මගේ යාළුවා එවන මැසේජ් කියවනවලු නේද මචං?


සිරාවටම උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මචං?


උඹ එහෙම කරලා මගේ යාළුවාගේ නම්බර් එක අරගෙන මගේ යාළුවාට, උගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ කෝල් කරා නේද මචං?

උඹ එහෙම කරලා දවස ගානේ කෝල් කර කර මගේ යාළුවත් එක්ක ෆිට් වෙලා උගේ වැරදි හෙව්වා නේද මචං?


ඒවා හොයලා ගිහින් අර කෙල්ලට කිව්වා නේද "ඔයාගේ කොල්ලා මෙන්න මේ වගේ කෙනෙක්" කියලා මචං.


අපෝ මචං උඹ කරපු වැඩේ අහනකොටත් කොල්ලෙක් හැටියට
මට අම්බානකට ලැජ්ජා හිතෙනවා මචං.

උඹ දන්නේ නෑ නේද මගේ යාළුවා උඹට කිව්ව තරමක් කිව්වේ බොරුයි කියලා මචං?


ඌ කිව්වා නේද තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම යාළුයි කියලා මචං? 


ඌ කිව්වා නේද ඌ එක එක ඩ්‍රග්ස් වර්ග ගන්නවයි කියලා මචං?


ඌ කිව්වා නේද එක එක කෙල්ලොන්ව අරං රූම්ස් වලට යනවයි කියලා මචං?


ඒත් උඹ දන්නවද ඒ සේරම බොරුයි කියලා මචං?


ඒ වගේම මගේ යාළුවා උඹව අන්දපු හැටි උඹේ කෝල් කට් කරන සැනින්ම උගේ කෙල්ලට කියන බව උඹ දන්නේ නෑ නේද මචං?


උඹ මගේ යාළුවා කියන සේරම අහං ඉඳලා උගේ කෙල්ලට ගිහින් කියනවා නේද "ඔයා යාළු වෙලා ඉන්න එකා හොඳ එකෙක් නෙමෙයි" කියලා මචං.


උඹ හිතන්නේ ඒ කෙල්ල උඹ කියන ඒවා අහලා උඹ ගැන තියෙන විශ්වාසේ වැඩි උනා කියලද මචං?


නෑ.... එහෙම නෙමෙයි උනේ මචං.


ඒ කෙල්ල මගේ යාළුවාට කියලා තිබ්බා උඹ කරන වැඩ නිසා දැන් උඹේ මූණ බලන්නත් අප්පිරියයි කියලා මචං.


උඹ හිතාගෙන හිටියේ උඹ ඔහොම කේලම් කියලා ඒ කෙල්ලව මගේ යාළුවාගෙන් තරහා කළාම ඒ කෙල්ල උඹත් එක්ක යාළු වෙයි කියලද මචං?


උඹ හෙන මෝඩයි මචං.


මගේ යාළුවා කිව්වා ඒ කෙල්ලට උඹ කෝල් කර කර කරදර කරන නිසා තව දුරටත් උඹව අන්දන්නේ නෑ කියලා මචං.


ඊළඟ සැරේ උඹ කෝල් කරාම උඹට යහපත් ලෙස තේරුම් කරලා දෙනවා කිව්වා මචං.


බය වෙන්න එපා මචං.

උඹේ දත් දෙකක් බඩට යවන්න ඌට උවමනාව තිබ්බත් ඌ එහෙම කරන්නේ නෑ කිව්වා මචං.


මොකද මගේ යාළුවාගේ කෙල්ල වැඩ කරන්නෙත් උඹ වැඩ කරන ඔෆිස් එකේම නිසා මචං.


ඒ කෙල්ලගේ ජොබ් එක ගැන හිතලා මචං.


මට අන්තිමට උඹෙන් අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි මචං.


සිරාවටම අහන්නේ....... උඹ පිරිමියෙක්ද බං?




ප.ලි : මෙම ලිපියෙන් දැක්වෙන්නේ මගේ මිත්‍රයෙක්ගේ පෙම්වතිය සමඟ යාළු වීමට උත්සහ කරන, ඇය සේවය කරන ආයතනයේම සේවය කරන එකෙක්ගේ පිළිකුල් සහගත ක්‍රියාව පිළිබඳව, ඒකා වැරදීමකින් හෝ මුණ ගැහුනොත් විමසන ආකාරයයි.




[පින්තූරෙ - http://www.queerty.com/wp/docs/2010/04/boyintu39230.jpg]

Monday, December 19, 2011

එදා වැලන්ටයින් දිනයයි!


//මේ වසර නිමාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණකි. මේ වසර නිමාවී තවත් මාසයයි දින කිහිපයකට පසුව උදාවන්නේ පෙම්වතුන්ට වෙන්කළ වසරේ දිනයයි. බොහෝ පෙම්වතුන් නව වසරක ආරම්භය සමඟම වැලන්ටයින් දිනය එළඹෙනතුරු දින ගණිනවාට සැක නැත. මේ ගෙවීයන මෙම වසරේ වැලන්ටයින් දිනයේ මා දුටු සිදුවීමක්ය.//

වැලන්ටයින් දිනය යනු මා හට වසරේ තවත් එදිනයක් පමණක් වූවත්, වැලන්ටයින් උණුසුම මටත් ඊට සතියකට පමණ පෙර සිටම දැනෙන්නට පටන්ගෙන තිබිණි. ඒ හාත්පස වූ කඩ සාප්පු රක්ත වර්ණයෙන් හැඩ ගැන්වීමට පටන්ගෙන තිබූ නිසා නොවේ. මාගේ සමහර මිතුරන් මා කැටුව, ඔවුන්ගේ පෙම්වතියන්ට දීමට තෑඟි සෙවීමට කකුල් කඩිත්තුව හැදෙන තුරු ඔවුන් සමඟ කඩ සාප්පු ගානේ ඇවිදීමට වූ නිසාවෙනි. තාමත් ඉගෙනීමේ යෙදන මා මිතුරන් රුපියල් දාහ දෙදාහා පමණක් නොව සමහරුන් රුපියක් පන්දහස පවා ඉක්මවූ තෑගි මිලදී ගැනීම මට අරුමයක් නොවන්නේ දැන් වසර කිහිපයක සිටම ඔවුන් සමඟ වසරකට දෙවතාවක්වත් මේ අයුරුන්ම සාප්පු ගානේ රස්තියාදු ගැසීමට සිදුවන බැවිනි.


ප්‍රමෝදමත් ගතියෙන් දිස්වූ බොහෝ තරුණ තරුණියෝ නෙත ගැටුනු නිසාදෝ, මෙදින වෙනදාට වඩා බොහොම ප්‍රසන්න දිනයක් යැයි මට සිතේ. දෑත් පටලන් සිනාමුසු මුහුණින් ගමන් කරන පෙම්වතුන් වෙනදාට වඩා වැඩි දැයි මම මගෙන්ම ප්‍රශ්න කරගතිමි. බස් රථයේ පවා තුරුල් වී ගමන් කරන පෙම්වතුන් කීප දෙනෙකුම මගේ නෙත ගැටුනි. පෙම්වතුන්ගේ දිනය වූ නිසාවෙන් ඔවුන්ට මගේ අවධානයට යොමු වන්නේදැයි මම නොදනිමි.

උදෑසනටත් වසා සවස් කාලයේ පෙම්වතුන් ඇස ගැටෙන්නේ යැයි මට සිතේ. ඔවුන්ගේ අත්වල තෑගි බෝගය. හැමගේ මුහුණු සිනාවෙන් ආලෝකමත් වී ඇත. බාග වෙලාවට වැලන්ටයින් දිනය නිසාවෙන් ඔවුන්ගේ මුහුණු වල අමුතු සතුටක් මට දිස්වනවාදැයි සැක සිතුනි.


බස් රථයේ එතරම් සෙනඟ නැත. තැනින් තැන හිස් ආසන තිබූ බසය දෙහිවල හන්දියේ නැවතිනි. එතැනින් බසයට ගොඩවූයේ පාසල් යන වයසේයැයි සිතිය හැකි තරුණ යුවලකි. ඔවුන්ගේ අතේ මලු දෙකකි. ඒවායේ ඇත්තේ තෑගියැයි මම අනුමාන කළෙමි. එක ළඟ හිස් ආසන දෙකක් නොවූ බසයේ ඔවුන් හිටගෙන සිටින්නට විය. 


"ඔයා ඔතනින් ඉඳගන්න"
පෙම්වතා පෙම්වතිය පැවසීය.



"නෑ කමක් නෑ"
ඒ පෙම්වතියගේ පිළිතුරයි.

"එන්න නංගි මෙතනින් වාඩි වෙන්න"
ඔවුන් අසලම ආසනයේ හිඳගෙන සිටි අක්කා කෙනෙක් ඔවුන්ට එම ආසනය පිරිනමා ඈ වෙන තැනකින් හිඳ ගත්තාය.



ආදරවන්තයින්ගේ දිනේ දවසේ මිනිස්සුන්ගේ හිත ආදරණීය වෙලා. මේ මිනිස්සුන්ගේ හිත් හැම දවසකම ආදරවන්තයින්ගේ දවස වගේ වෙනවානම් කොච්චර හොඳදැයි මට සිතුනි. බසයේ ජනේලය අසල අසුන්ගෙන සිටි මා හට පාරේ දිස් වන්නේත් සතුටින් ගමන් කරන පෙම්වතුන්මය. අද දවසේ ලෝකෙම ලස්සන වෙලා වගෙයි.....

"බස් වල යනවානම් සල්ලි ගන්නවා මේවායේ පිනට එක්කං යන්න බෑනේ!"
කොන්දොස්තර මහතාගේ ගෙරවුම් හඩින් මගේ සිතුවිලි දැහැන බිඳී ගියේය.

"මං සල්ලි දුන්නා"
ආසන තිබියදීත් ඩ්‍රයිවර් අසල හිටගෙන සිටින, තරමක් වැරහැලි වූ ඇඳුමකින් සැරසී සිටි මැදි වියේ කාන්තාවක් තරහින් පවසයි.

"කොහෙද සල්ලි දුන්නේ? සල්ලි දුන්නානම් මට මතකනේ. රුපියල් නමයක් දෙන්න නැත්තං බස් එකෙන් බහින්න"



"ඒ මොකටද මං බහින්නේ. මං සල්ලි දුන්නානේ"


කොන්දොස්තර බණිමින් බස් ර‍ථය පිටුපසට පැමිණියේය.


"ඔය ගෑණු ඔහොම්මමයි"
කොන්දොස්තර පිටුපස ආසනයක වූ අයෙක් සමඟ මොන මොනවාද දොඩවමින් ඇයට බණිනු ඇසෙයි. කාන්තාවට ගානක්වත් නැති සැටියකි. ඇය හිස් බසයේ හිටගෙන ගමන් කරයි.


රුපියල් නමයක්!
එක්කෝ මේ ගෑණි ඇත්ත කියනවානම්, අර කොන්දාගේ අමතක වීම නිසා රුපියල් නමයකට මේ අහිංසක ගෑණිට කොන්දා නිකරුනේ දොස් කිව්වා. බාග වෙලාවට මේ ගෑණිට සල්ලි දුන්නා වගේ මතකේ තිබ්බාට ඇත්තටම සල්ලි දීලා නැද්ද දන්නෙත් නෑ. හැබැයි මේ ගෑණි බොරු කියනවානම් සමහර විට රුපියල් නමයක් අතේ නැතුව ඇති බස් එකේ යන්න. නැත්තම් බොරු කියලා බැණුම් අහලා හරි රුපියල් නමය ඉතුරු කරගන්න එක ඒ ගෑණිට වටිනවා ඇති.



ඔය කොහොම උනත් රුපියක් නමයයිනේ! අදවගේ ආදරණීය දවසකත් මේ මිනිස්සු රුපියල් නමයකට රණ්ඩු කරගන්න හැටි....
එක්කෝ ඒ මිනිස්සුන්ට රුපියල් නමය ඒ තරමටම වටිනවා ඇති.




[පින්තූරෙ - http://api.ning.com/files/OJv4SY0Y6H4fcLCLCx*9LXIPptJiShh-1T-fhUxoc384f-NBjGNsdIAx7SjcJZJyF2*mPZxtjOQjYr8LEfqqN8E38*Yur--M/file.jpg]

Monday, December 5, 2011

මිත්‍යා ෂුයි!


හිල් කාසියක් කටේ රන්දා
කාසි ගොඩක් උඩ ඉන්නා
තඩි හැල ගෙම්බා
චීනෙන් මෙහාට පැන්නා

කවුදෝ එකෙක් එන්නා
"ගෙම්බා වාසි ගේනා"
ටීවී එකෙන් කියනා
මිත්‍යාව වපුරන ගෙම්බා!

වාසි ගේන හන්දා
අපේ උන් පැන්නා
ගෙම්බාව දෝතින් ගත්තා
ගේ ඉස්සරහා තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
ගෙම්බාට වැන්දා
අනේ ගොං ගෙම්බා!



තවත් කෙනෙක් ඉන්නා
අලි කටත් බලියා
සුද්දා පොට්ට හන්දා
එයාට නමක් දැම්මා
"ලාෆින් බුද්ධා"


සුද්දා කිව්ව හන්දා
හිස් මුදුනින් පිළිගත්තා
අනේ ලාෆින් බුද්ධා!
පුංචි මැදුරක් තනවා
ගේ මැද්දෙන් තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
එයාටත් වැන්දා
අනේ ගොං ගෙම්බා!

සටහන  
ගෙම්බෙකුට තබා මේ ලෝකයේ තිබෙන කිසිම පිළිමයකට තමන්ගේ ආදායම් තත්වය හෝ තමාගේ ජීවන තත්වය උසස් කිරීමට නොහැකි බව සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත ගැකි සත්‍යයක් වුවද, මෙවැනි දෑ විශ්වාස කරන උසස් වෘත්තිකයක් පවා දැකගත හැකි වීමෙන් පැහැදිලි වන්නේ බොහෝ මිනිසුන්ගේ දැනුම පරයා මිත්‍යා විශ්වාස ඉදිරියට පැමිණ ඇති බවය. මෙවන් දෑ විශ්වාස කිරීමෙන් තමන්ට ලැබෙන ලාභ/වාසි කෙසේ වෙතත් මෙවන් මිත්‍යාවන් පතුරවන අයටනම් මේවායින් බොහෝ ලාභ ලැබෙන බවනම් නොඅනුමානය.



[පින්තූර-http://www.glogster.com/media/5/29/28/7/29280721.jpg, http://lorettaecogirl.files.wordpress.com/2011/06/fengshuitoad.jpg]
Related Posts Plugin for WordPress, Blogger...