Monday, April 30, 2012

බල්ලා!


බල්ලා යනු අපූරු සත්වයෙකි. ඌ තම ස්වාමියාට අසීමිතව ආදරය කරයි. නිවසක සුරතලයට ඇති කරන අනෙක් සතුන්ට සාපේක්ෂව බල්ලා තමාව ඇති දැඩි කරන පවුලට අසීමිතව ආදරය කරයි. කලගුණ දත්තෙකි. වැඩි වාසි සලකා තමන් ආදරය කරන තැනැත්තන්ව හැරදමා නොයන එකම සත්වයාද බල්ලාම විය යුතුය.

බල්ලා කිව් සැනින් මගේ මතකයට එන්නේ අප නිවසේ අවසාන වතාවට ඇති කළ බල්ලා වන ටිබියාවය. ලොකු නම් වලින් හඳුන්වන විශේෂ වර්ගයක බල්ලෙක් නොවූ ටිබියා නිකම්ම නිකම් බල්ලෙකි. ඌ අප පවුලේ සැමට බොහෝ සේ ඇලුම් කළේය. පවුලේ දෙදෙනෙකු බොරුවට රණ්ඩු වන ආකාරය රඟ දක්වන විට ටිබියා බුරාගෙන විත් එක අයෙකුගේ ඇඟට පනී. පසුව උගේ එම හැසිරීම අපි සෙල්ලමකට ගතිමු. නමුත් සෑම බල්ලෙකුම ටිබියා මෙන් හැසිරෙනු ඇතැයි මට සිතිය නොහැකිය.

ටිබියාගේ ප්‍රියතම ආහාරය වූයේ බිස්කට්ය. එයින්ද මාරි බිස්කට් වලට ඌ මහත් ප්‍රිය කළේය. බිස්කට් පැකැට්ටුවක් කැඩීමේදී නැගෙන හඩ හෝ ඊට සමාන හඩක් හෝ ඇසෙන දුරකින් ටිබියා සිටියහොත් කන්දෙක ඔසවාගෙන විත් ඇස් ලොකු කර ඔළුව කරකවමින් අප දෙස බලන බැල්ම සමහර දාක ඌට බිස්කට් පැකැට්ටුවෙන් භාගයක් පමණ ලබා දීමට සමත්ය.  

ටිබියා ගෙදර තනිව දමා අප කොහේ හෝ ගමනක් යෑමට පිටත්වීමට ප්‍රථමයෙන් ඌට මාරි පැකැට්ටුවක් කඩා දී යාම පුරුද්දක් බවට පත් වුවත් අදාල ගමන් ගොස් පැමිණෙන අපට දැකගත හැකි වන්නේ බිස්කට් දෙක තුනක් පමණක් ඌ ආහාරයට ගෙන ඇති බවකි. අප සැම නිවසින් පිටව ගියපසු ඌ පැයක් දෙකක් නොකඩවාම හැඩූ බව අසල්වැසියන් පවසද්දී අප සිත්තුල දුකක් ඇති නොවුනා යැයි කිව හොත් එක අමූලික බොරුවක්ය. එක් දිනක් අප සැම නිවසින් පිට වෙද්දී ටිබියා හැකිතාක් වේගයෙන් අප ගමන් ගත් වාහනය නොපෙනී යන තෙක්ම අපව ලුහුබැඳ පැමිනෙන දර්ශණය මා වාහනයේ පැති කණ්ණාඩියෙන් දුටු අයුරු සිහිවන විට මේ ලියමන ලියන මොහොතේ පවා මා සිත වේදනාවට පත් කරයි. 

ටිබියා අප නිවසට රැගෙන ආවේ මැයි පළමුවන දාකය. ගෙනා දින පටන්ම ඌ නීරෝගිමත් සතෙක් නොවිනි. ඌව බොහෝ අවස්‍ථාවල පශු වෛද්‍ය වරයා වෙත රැගෙන යන්නට විය. ඌ දෙතුන් වරක්ම මරණාසන්න ලෙස රෝගාතුර වූ නමුත් කෙසේ හෝ බේරාගැනීමට හැකි විය. පිටින් පෙනන කිසිදු ලක්ෂණයක් නොමැති වුවත් ඌට ඇවිදින්න අපහසු විය. කෙසේ හෝ වසර පහකට පමණ පසුව තදබල ලෙස අසනීප වූ ටිබියා එන්න එන්නම දුර්වල වී ඇවිද ගැනීමට නොහැකි තැනටම පත්විය. එසේ තිබියදී මා තනිවම ඌව පශු වෛද්‍ය වරයා ළඟට රැගෙන ගිය නමුදු කිසිත් නොකියාම ඌට බෙහෙත් කළ වෛද්‍ය වරයා අදාල ගාස්තුව පමණක් මට පැවසීය. තත්වය එසේ තිබියදී අපට බොහොම සමීප ඥාතියෙකුගේ මලගෙදරකට සහභාගී වන්නට සිදුවිය. අදාල නිවසට පැමිණ පැයක් ඉක්ම යන්නට මත්තෙන් අසල්වැසි නිවසකින් ඇමතුමක් ආවේ බෝහෝ වේලා කෑ ගසමින් සිටි ටිබියා මියැදී ඇති බවයි. 

වෙන විකල්පයන් නොවූයෙන් අවසානයේ මා තනිවම මගේ නිවසට පැමිණ වත්ත අයිනේ වලක් හාරා ඌව වල දැම්මෙමි.  

ටිබියා ලෙඩ වූ සෑම අවස්‍ථාවකදීම අපි බොහෝ කණගාටු වූයෙමු. කොටින්ම මා මගේ මිතුරෙකුට නෑයෙකුට අසනීපයක් වූ විට කණගාටු වනවාට වඩා බොහෝ සෙයින් ටිබියා අසනීප වූ විට කණගාටුවිය. මනුෂ්‍යයෙකුට අසනීපයක් වූ විට ඔහුට ඒ වේදනාව අන් අයට පැවසිය හැකිය නමුත් වෙනත් සත්වයෙක්ට එසේ කිරීමට නොහැකිය. බල්ලන් මිනිස්සුන්ට උවමනාවට වඩා ලං වෙයි. එය අදාල සත්වයා අසනීප වෙද්දී හිතට මහත් පීඩාවක්ය. ටිබියාගේ මතකය යළිත් බල්ලෙකු ඇති කිරීමට මා සිත තුල පවතින ආශාව මැඩපැවැත්වීමට සමත්ය.

ඉහත ඡායාරූපයේ සිටින්නේ කුකීයාය. ඈ ඇති දැඩි කරන්නේ අප යාබද නිවසේ සිටින මාගේ බාප්පා ඇතුලු ඔහුගේ පවුලේ අය විසිනි. නමුත් ඔවුන්ගේ පවුලේ සෑම දෙනාම උදෑසන 8ට නිවසින් පිටවන අතර නැවත් එන්නේ සවස 5ත් 7ත් අතරය. ඒ අතර කාලය තුල කුකියා සිටින්නේ අප නිවසේය. ඌ දැන් තමාගේ නිවසේ අයට වැඩියෙන් අප නිවසට සමීප වී ඇත. ටිබියාගේ මතකය මා කුකියාගෙන් ඈත්කර තබයි. ඕනෑම සත්වෙක්ට උවමනාවට වඩා ලංවීම සැබවින්ම වේදනාවක්මය. නමුත් අප යම් යම් අයට ලං වීම නිසගයෙන්ම සිදුවෙයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුකීයා ගේට්ටුව අතරින් තම නිවැසියන් පැමිණෙන තුරු බලා සිටින අයුරුයි. සවස 5ට පමණ ගේට්ටුව අසලට ගොස් රූපයේ අයුරින් ඈ නිවැසියන් එනතුරු රෑ 8 වනතුරු පවා ඇතැම් දවසක බලා සිටියි.
 

කුමන හෝ අමන වැඩක් කළ ගැහැණියකට පිරිමියෙකුට බැණ වැදීමට සුලභව යොදා ගන්නේ "බැල්ලී/බල්ලා" යන වචනයයි. නමුත් කෙනෙකුට බැණ වැදීමට ඒ වචනය කෙතරම් නම් උචිතද? කුමන හෝ නොමනා ක්‍රියාවක් කරන බල්ලෙකුට බැණීමට "මිනිහා" යන වචනය යොදා ගන්නට බැරිද?



ප.ලි : මගේ මතකය ඇවිස්සුවේ වෙනී අයියායි!

Related Posts Plugin for WordPress, Blogger...