Wednesday, August 21, 2013

හඳ කඩාගෙන වැටුණා හදෙන් පලුවක් ගලවගෙන...



හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා.

ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ.

"අහන්න රත්තරං.... හැමදේටම දැන් හොඳටම පරක්කුයි. මම ලබන සිකුරාදා බඳිනවා"

එයා කිව්වේ ලොකූ හුස්මක් අරන්. අපේ ජීවිත තරම් නොවුණත් එතකොටත් අපේ ඇඟිලි එකිනෙකට පැටලිලා තිබුණේ. ඒ පැටලිල්ල ලිහන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. ශක්තියක් තිබුණේ නෑ. හීනෙන් වගේ ඇහුණු ඒ වචන වලට මගේ හීන මාලිගා මහා සද්දෙට කඩාගෙන වැටෙනවා මට අහුණා. ඒ සද්දෙට මගේ කන් අඟුලු වැටුනා. මුළු ලෝකෙම නැවතුනා වගේ දැනුනා. මම ඇගේ අත අතහැරිය යුතුව තිබුණා. ඒගේ මගේ හිත මට අවනත උනේ නෑ. මගේ ඇහැට කඳුළු ආවේ නෑ. මගේ හිතට සිතිවිලි ආවෙත් නෑ. මට දැනුනේ මහා ශූන්‍යත්වයක්. එයා මගේ මූණ දිහා බලාගෙන හිටපු බව මං දන්නවා. ඒත් එයාට කිසිම හැඟීමක් කියවගන්න බැරි වුණු බව මට විශ්වාසයි. මම ගන්ධබ්බ ආත්මයකට ඇතුළු වුණේ ඒ මොහොතේ බව මට දැන් හිතෙනවා.

අපි ආපසු යා යුතුව තිබුණා. මට නැඟිටින්න පුළුවන් කමක් තිබුණේ නෑ. කාලය ඒ මොහොත තුල සදාකල් නවතිනවා නම් කියලා හිතුනා. මම ඇගේ අත අතහැරිය යුතුව තුබුණා. ඒත් අපි අත් පටලගෙනම හිටියා.

ආදරේ උමතුවක් බව මම කලින් දැගෙන හිටියා. ඒත් උන්මන්තකයෙකුට තමන්ගේ උන්මන්තක ස්වභාවය දැනෙනවා ද? ජීවිත ගමනේ අනන්ත මාවත් තියෙද්දී අපි අහම්බෙන් තැන් තැන් වලදී නැවත නැවතත් හමු වුණා. හැමදේම අවසානයි කියලා හිතාගෙන වෙනම මාවත් වල ගමන් කරලත් ආයේ අහම්බෙන් අපි හමු වුණා. හමු වුණු හැම අවස්ථාවකදිම අපිටත් නොදැනී අපි ආදරෙන් උමතු වුණේ ඇයි කියන්න මට තාමන් තේරෙන්නේ නෑ. අපි ආයෙත් ජීවිතේ මං සන්ධියකට ඇවිත් එකිනෙකට විරුද්ධ මාවත් දෙකක් වෙන වෙනම ගමන් කරන්න පටන් අරං. අපි ආයෙත් අහම්බෙන් ජීවිත ගමනේ දී මුණ ගැහෙන එකක් නැද්ද? මගේ හිත නිශ්චිත අවිනිශ්චිත තාවකින් බර වෙලා.

වාහනේ ඇතුලේ අපි දෙන්නම සීතල වෙලා හිටියේ ඒසී එකටම නෙමෙයි කියලා මං දන්නවා. හරිම වේගෙන් ඔයාගේ හදවත ගැහුන සද්දේ මට තාමත් දැනෙනවා. ඒ වෙව්ලන දෙතොල් මට තාමත් දැනෙනවා. සීතලට ගල්වෙලා තිබ්බ අත්වලින් ඇඟිලි තුඩු මිරිකෙන තරම් තදින් අපි අල්ලගෙන හිටියේ. ඔයාට දැනුන ද?






[පින්තූරෙ - http://wallpaperhdfree.com/wp-content/uploads/2013/03/When-Love-is-Not-Madness-it-is-not-Love.jpg]
Related Posts Plugin for WordPress, Blogger...